“කුඩු නිලූ” ගේ පුතා ඝාතනයට 5 ක් අත්අඩංගුවට

“කුඩු නිලූ” ගේ පුතා ඝාතනයට 5 ක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ගෑස් වෙළඳ සැලක් තුළ දී “කුඩු නිලු” නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියගේ පුත්‍රයා තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

එම සැකකරුවන් සමඟ ඝාතනයට යොදාගත් කඩු දෙකක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ වැල්ලම්පිටිය වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වකුමාර් ශමාල් සසිදු නැමැති 25 හැවිරිදි තරුණයෙකි.

ඝාතනයට ලක්වූ තරුණයා ඉකුත් 5 වෙනි දින තවත් පිරිසක් සමඟ ත්‍රීරෝද රථයකින් ග්‍රෑන්ඩ්පාස් නාගලම්විදිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී සැකකරුවන් තියුණු ආයුධ ඇතැතිව තිරෝද රථය පසුපස හඹා ඒමත් සමගම සැකකරු එයින් බිමට පැන වෙළඳ සැලක් තුළට දිව යාමත් සමඟම පසුපස හඹා ආ සැකකරුවන් තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහර දී පළා ගොස් තිබිණි.

අනතුරුව එහි සිටි පිරිස බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබිණි.

මෙම පහරදීමට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ මුදල් ආරවුලකට මීට මාස කීපයකට ඉහතදී ඝාතනයට ලක්වූ පුද්ගලයා තවත් පුද්ගලයකුට මේ ආකාරයෙන්ම තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ප්‍රධාන සැකකරු ද සිටින බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය නාගලගම් වීදිය සහ වෙන්නවත්ත ප්‍රදේශවල පදිංචිකරුවෝය. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This