රනිල්ව අපි මැතිවරණ සිතියමේ හිර කරනවා

රනිල්ව අපි මැතිවරණ සිතියමේ හිර කරනවා

“මේ මැතිවරණ සිතියමේ රනිල් අපි හිර කරනවා.හිර කරලා ජනතාවට ඡන්ද ලබා ගැනීම සඳහා තියෙන අයිතිය තහවුරු කරන බලවේගය බවට පත් වෙන්නේ ජාතික ජන බලවේගය” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩනගන අනුරාධපුර දිස්ත්‍රික් මිහින්තලය ආසන සමුළුව අමතමින්ය.මෙම සමුළුව තිරප්පනය නගරයේදී පැවැත්විණි.

“මේ ජූනි 09 වැනිදාට පළාත් පාලන මැතිවරණය නොපවත්වා මාස 03 ක් ගත වෙනවා.ජූනි 09 වැනිදා අපි දාපු නඩුවක් අධිකරණයේ විභාග වෙන්නත් නියමිතයි.ජූනි 08 වැනිදා අපි මැතිවරණ කොමිසම ඉස්සරහට යන්න ලෑස්ති වෙලා ඉන්නවා.ඊට පස්සේ රට පුරා ජූනි මාසයේ අපි මේ ඡන්ද කල් දැමීමට විරුද්ධව ජනතාව පෙළගස්වනවා.

රනිල් වික්‍රමසිංහ හිතනවා නම් එයාට යටත් වෙලා දේශපාලනය කරන්න, ඒවා අනෙක් අයට වලංගු ඇති, එයා හිතනවා එයා ඡන්ද තියන්නේ නෑ කියලා කිව්වමට එයාට අපි යටත් වෙලා ඉන්න ඔ්න කියලා.එහෙම යටත් වෙලා ඉන්න අපි සූදානම් නෑ, කවුරු සූදානම් වුණත්, රනිල් වික්‍රමසිංහගේ අනීතික, ප්‍රජාත්‍රන්ත විරෝධී මේ ඡන්ද කල්දැමීමට විරුද්ධව අපි පාරේ සටන ආරම්භ කරන්න ලෑස්තියි.

රනිල් වික්‍රමසිංහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය තියෙනවා.පාර්ලිමේන්තුවේ 134 ක් තිබ්බා දැන් ඒක 120 ට විතර බැහැලා.හැබැයි ජනතාවගේ බලය තියෙන්නේ ජාතික ජන බලවේගයත් එක්ක.එයා දැන් කියනවා පළාත් පාලන ඡන්දය නෙමෙයි ජනාධිපති මැතිවරණය තියනවා කියලා.

ජනාධිපති ඡන්ද 03 කට ඉල්ලපු නැති හාදයා, පක්ෂය එකට තියෙන කොට පක්ෂය ශක්තිමත්ව තියෙන කොට, පක්ෂය බෙදිලා පාර්ලිමේන්තුවටවත් එන්න බැරිව හිටිය හාදයා තියනවාද ඡන්දේ.එයා කියනවා ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනත් නොවැම්බර් මාසේ ඡන්දය තියනවාලු.ය න්නේ නෑ. මේ සැරේ රනිල්ව දිනවනවා කියන අය ඉන්නවාද ගම්වල , නෑ ගම්වල ඉන්නේ එන මොන ඡන්‌දේ ආවත් එළවන්න බලාගෙන ඉන්නේ.රනිල් හිතනවා දිනවන්න බලාගෙන ඉන්නවා කියලා.

ව්‍යවස්ථාව අනුව ලබන අවුරුද්දේ නොවැම්බර් 17 ට මාසයකට කලින් ජනාධිපතිවරණය තියන්න ඔ්න, ඒ අනුව ඔක්තොම්බර් මාසයේ මුල් සතිය තුළ ඡන්දය තියන්න ඔ්න.ඒ කියන්නේ කොච්චර ඇද්දත් උපරිම රනිල්ට අදින්න වෙන්නේ මාස 14 ක් විතර, කන්න දෙකයි.හැබැයි අපි සූදානම් ඊටත් කලින් මැතිවරණයක් ලබා ගන්න.මේ මැතිවරණ සිතියමේ රනිල් අපි හිර කරනවා.හිර කරලා ජනතාවට ඡන්ද ලබා ගැනීම සඳහා තියෙන අයිතිය තහවුරු කරන බලවේගය බවට පත් වෙන්නේ ජාතික ජන බලවේගය.” යැයි පැවසීය.