රෝහල්වලට ත්‍රිවිධ හමුදාව

රෝහල්වලට ත්‍රිවිධ හමුදාව

වෛද්‍යවරු හැර අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වී ඇති රෝහල් කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට පියවර ගන්නා බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සඳහා කැඳවා ඇති බව වාර්තා වේ.

අද උදෑසන 06.30 සිට ‍සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් පැය 24ක කාලයක් සඳහා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

වෛද්‍යවරුන්ගේ දීමනා රුපියල් 35000කින් ඉහළ දැමීමට සාපේක්ෂව අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගේ දීමනාද ඉහළ දමන ලෙසට ඉල්ලීම් කරමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති අතර අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

කෙසේවෙතත්, අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවකට ද ආරාධනා කර ඇති බව වාර්තාවේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් සෙවීම වෙනුවෙන් එය පැවැත්වේ.