කුවේටයෙන් පිටුවහල් කළ ගෘහ සේවිකාවන් 35ක් දිවයිනට

කුවේටයෙන් පිටුවහල් කළ ගෘහ සේවිකාවන් 35ක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවයේ නිරත වී සිටි 35 දෙනෙකු එරටින් අද (04) දින උදෑසන පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මොවුන් මෙසේ කුවේට් රාජ්‍යය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් වන අතර , එක් පිරිමි ගෘහ සේවකයෙකු සහ ගෘහ සේවිකාවන් 34 දෙනෙකු මෙම පිරිසට ඇතුළත් වී සිටියහ .

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය , ආගමන විගමන දෙපාර්තමේන්තුව , අධිකරණ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එකගතා ඇති කර ගනිමින් මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවයේ නිරත පිරිස මෙසේ යළිත් ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන තිබුණි .

එහිදී මෙම සේවකයින්ට එරෙහිව පැවති නඩු සමථයකට පත් කර , තාවකාලික ගමන් බලපත්‍ර සකස් කර , ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදී සහ හිග වැටුප් මෙන්ම අනෙකුත් ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ද ලබා ගැනීමට අවස්ථාව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හිමි කර දී තිබුණි .

මෙම පිරිස කුවේට් සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද(04) දින උදෑසන 06.35ට එවා තිබුණි.