පේරු රාජ්‍යයේ බස් රථ අනතුරකින් 24 ක් මරුට – 21 ක් රෝහලට

පේරු රාජ්‍යයේ බස් රථ අනතුරකින් 24 ක් මරුට – 21 ක් රෝහලට

පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (18) දින හුවාන්කායෝ සහ හුවාන්ටා (Huancayo and Huanta) නගර අතර ඇන්ඩීස් කඳුකරයේ ගමන් කරමින් සිටියදී බස් රථය මීටර් 200 ක් (අඩි 650) පමණ ගැඹුරු මිටියාවතකට ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුර සිදු වූ ස්ථානයට වහාම ගිනි නිවන භටයන් යැවූ අතර ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක නිලධාරීන් එක්ව ජීවිත ගලවා ගැනීමේ දැඩි මෙහෙයුමක නිරත වුණු බව සඳහන් වනවා.

එමෙන්ම දිවි ගලවා ගත් පිරිස් ළඟම ඇති රෝහල් වෙත ගෙන යාමට සමත් වූ බවත් සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ඊට ආසන්න නගරයක නගරාධිපතිවරයා ප්‍රාදේශීය මාධ්‍යන්ට ප්‍රකාශ කර තිබුණේ අනතුර සිදු වූ එම අධිවේගී මාර්ගය මාසයකට පෙර නාය යාමකින් හානි වූ බැවින් එය පිළිසකර කර නොමැති බවයි.

පේරු හි විශේෂයෙන් රාත්‍රියේදී සහ කඳුකර මහාමාර්ගවල මෙවන් අනතුරු සුලබ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This