ආසියානු කුසලාන පරාජය ගැන පොලිසියට පැමිණිල්ලක්

ආසියානු කුසලාන පරාජය ගැන පොලිසියට පැමිණිල්ලක්

ආසියානු කුසලානය සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දීය – ශ්‍රී ලංකා අවසන් මහ තරගයේ පාවා දීමක් සිදුවූයේ දැයි සොයා බලා එවන් ක්‍රීඩකයන් වෙතොත් රටට හෙළි කරන ලෙස අල්ලස, දූෂණය, නාස්තිය එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ (18) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ය.

මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමු කර තිබිණි.

පැමිණිල්ල ඉදිරිපත් කළ එම සංවිධානයේ සභාපති ජාමුනි කමන් කුමාර මෙහිදී පැවැසුවේ, සුළු කාලයක් ඇතුළතදී මුළු ක්‍රීඩා කණ්ඩායම ම දැවී යෑම අල්ලස්වලට යටවී ක්‍රීඩාව පාවා දුන්නේ ද යන්න කිසියම් සැකසහිතභාවයක් ඇති කරන බව ය.

1999 සහ 2003 වසරවලදී ක්‍රීඩා තරග පාවා දුන් ක්‍රීඩකයන් දැන් අත්අඩංගුවේ සිටීම එවන් සැකසහිතභාවයක් ඇතිවීමට ප්‍රධාන හේතුව බව ද ඒ මහතා අවධාරණය කළේය.

මෙවන් අවස්ථාවන් නිසා තරගය ඉන්දියාවට පාවා දුන්නේ ද යන්න සැකසහිත වන්නේ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ විලාසය දකිද්දී බව ද හෙතෙම පැවසුවේය.

ප්‍රේක්ෂකයන් පෝලිම්වල සිට ටිකට්පත් මිල දී ගෙන ක්‍රීඩා පිටියට යන්නට කලියෙන් තරගය නිම වීම ටී 20 තරගවලදී ක්‍රිකට් පාලක, මණ්ඩලය වංචා දූෂණ කළ විගණන වාර්තා සම්බන්ධයෙන් අල්ලස් සහ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

දිගින් දිගට ම රටේ ක්‍රීඩාව පාවා දීම සිදුවුවහොත් ක්‍රීඩාව නිසා බැබළුණු රට ක්‍රීඩා පාවා දීම නිසා අප්‍රසාදයට පත්වීමට ඉඩ ඇති බවත් මෙය මුදලට යටවුණු සූදුවක් බවත් ද කීවේ ය.

ක්‍රිකට් මණ්ඩලය දූෂිත බව ද කී හෙතෙම, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඇරඹීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ වගකීම බව ද පෙන්වා දුන්නේය.

මෙවන් පාවා දීම් කරන ක්‍රීඩකයන් කොයිතරම් දූෂිත ද යන්න සොයාගෙන රටට හෙළි කරන ලෙස පොලිස්පතිවරයාගෙන් සහ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ද ඔහු ඉල්ලා සිටියේ ය.

ඔහු විසින් යොමු කරන ලද පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමු කරන බව ද පොලිස් මූලස්ථානය අවධාරණය කළේය.