ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් 04 දෙනෙකු සති දෙකකට පසු ඇමසන් වනයෙන් හමුවෙයි

ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් 04 දෙනෙකු සති දෙකකට පසු ඇමසන් වනයෙන් හමුවෙයි

කොලොම්බියාවේ Caqueta පළාතේ දී මීට සති දෙකකට පෙර සිදුවූ ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් හතර දෙනකු ඇමසන් වනාන්තරයෙන් සොයා ගත් බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මෙම දරුවන් හතර දෙනා අතර මාස 11 ක ළදරුවකුද සිටින බවත් ඉතිරි දරුවන් තිදෙනා අවුරුදු 13 , 9, 4 වයස්වල පසුවන්නන් බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

කොලොම්බියානු හමුදාවේ උත්සාහය හේතුවෙන් මෙම දරුවන් හතර දෙනා සොයා ගැනීමට හැකි වූ බවත් මෙම දරුවන් සෙවීම සඳහා සොල්දාදුවන් 100 කට වඩා වැඩි ප්‍රමාණයක් පුහුණුව ලැබූ සුනඛයන් සමඟ එකතු වූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය පළමු වැනිදා සිදු වූ ගුවන් යානා අනතුරෙන් නියමුවා සහ දරුවන්ගේ මව මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා දරුවන් සොයා ගත් ස්ථානය පිළිබඳව පැහැදිලි තොරතුරක් ලබා දී නොමැත.

කොලොම්බියානු බලධාරීන් ගුවන් අනතුරට හේතුව මෙතෙක් ප්‍රකාශ කර නොමැති නමුත් රටේ ආපදා ප්‍රතිචාර ආයතනය පවසා තිබෙන්නේ, යානය රේඩාර් පද්ධතිවලින් අතුරුදහන් වීමට මිනිත්තු කිහිපයකට පෙර නියමුවා එන්ජිමේ ගැටළු වාර්තා කර ඇති බවයි.

කොලොම්බියානු බලධාරීන් විශ්වාස කරන්නේ යානය දකුණු ප්‍රදේශයට කඩා වැටීමෙන් පසුව අතුරුදහන් වූ ළමුන් හතර දෙනා වැසි වනාන්තර ප්‍රදේශයට ගොස් ඇති බවයි.

මෙම යානයේ ගමන්කළ අය ගිනිකොනදිග කොලොම්බියාවේ සහ උතුරු පේරු හි ආදිවාසී කණ්ඩායමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Share This