නවීකරණය කෙරෙන උතුරු දුම්රිය මාර්ගයේ යතුරු පැදියෙන් ගිය සිසුවෙක් මරුට

නවීකරණය කෙරෙන උතුරු දුම්රිය මාර්ගයේ යතුරු පැදියෙන් ගිය සිසුවෙක් මරුට

නවීකරණය කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කළ පාසල් සිසුවෙක් එහි තිබූ වලකට වැටී මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.

ඊයේ (01) පස්වරු හතට පමණ ගල්ගමුව මීගස් හන්දිය අසල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ, ගල්ගමුව පාළු කඩවල පදිංචි දාහත් හැවිරිදි ඩබ්.එම්.චමෝද් වාසල නමැති සිසුවෙකුයි.

මේ දිනවල උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටස සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කෙරෙමින් පවතින අතර තවත් දෙදෙනෙකු සමග මියගිය සිසුවා ගල්ගමුව නගරයට ගොස් ආපසු නිවස බලා එමින් සිට තිබේ.

එසේ එමින් සිට ඇත්තේ නවීකරණය කරන ලද දුම්රිය මාර්ගය ඔස්සේයි.

එම මාර්ගයේ “මරුවල” නම් ස්ථානයේ බෝක්කුව ඉදි කෙරෙමින් තිබී ඇති අතර එහි උඩින් ආවරණයක් තිබී නොමැත.

අධික වේගයෙන් පැමිණි මෙම යතුරු පැදිය එම බෝක්කු වලට වැටී තිබේ.

මෙම අනතුරින් එම යතුරුපැදියේ ගමන් ගත් දාහත් හැවිරිදි එච් එම්. චානක තයනුක ජයරත්න හා විසි එක් වියැති විරාජ් දුලන්ජන වාසල යන අය සුළු තුවාල ලබා ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

ගල්ගමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

Share This