X-Press Pearl වන්දි නඩුවේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීමට ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙක්

X-Press Pearl වන්දි නඩුවේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීමට ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙක්

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීම‍ට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට අදාලව වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේදී පවරා ඇති නඩුවේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සහය වීමට ශ්‍රී ලංකා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය ජනාධිපති නීතීඥවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ අසේල රැකව මහතා සඳහන් කළේ, ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා සහ ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර යන මහත්වරුන් එලෙස පත් කළ බවයි.

එම පත්වීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කළ බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා හරහා MEPA සිය සහාය නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දෙන බව ඔහු පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනයෙන් ශ්‍රී ලංකා මුහුදට සිදු වූ හානියට වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ අධිකරණයක් හමුවේ ගොනුකළ නඩුව මේ වනවිට විභාග වෙමින් තිබේ.