ජීවිත 3ක් බිලිගත් වික්ටෝරියා ඛේදවාචකය

ජීවිත 3ක් බිලිගත් වික්ටෝරියා ඛේදවාචකය

තෙල්දෙණිය කුඹුක්කඳුර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ අඹු-සැමි යුවළක් බේරාගැනීමට ගිය පුද්ගලයෙකු ද දියේ ගිලී මියගොස් තිබේ.

ඊයේ (15) පස්වරුවේ අඹු-සැමි යුවළ දියේ ගිලී අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා ධීවර සමිතියක පිරිසක් සහ ප්‍රදේශවාසීන් එක්ව බෝට්ටු සහ ඔරු මගින් සෝදිසි මෙහෙයුම් කර ඇති බවයි, පොලිසිය පැවසුවේ.

එහිදී ඔවුන් බේරාගැනීම සඳහා ඉදිරිපත් වූ 30 හැවිරිදි වියේ පසුවූ ප්‍රදේශවාසියෙකු ද මෙලෙස දියේ ගිලී මියගොස් ඇත.

අනතුරුව ඊයේ සවස් කාලයේ දී ඔහුගේ සිරුර සහ අඹු-සැමි යුවළගේ සිරුරු සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

මියගිය යුවළ 22 සහ 28 හැවිරිදි වයස්වල පසුවූවන් වන අතර අනෙක් පුද්ගලයා 38 හැවිරිදි වියේ පසුවූ අයෙකු බව සඳහන්.

දියේ ගිලී මියගිය අඹුසැමි යුවළ තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කාන්තාවගේ ගම් ප්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී තිබේ.

පළමුව කාන්තාව දියනෑම සඳහා ජලාශයට බැස ඇති අතර ඇය එක්වරම දියේ ගිලී තිබේ.

පසුව ඇගේ ස්වාමිපුරුෂයාත් ජලාශයට බැස ඇත්තේ ඇය බේරාගැනීමටය.

කෙසේවෙතත් එහිදී ජල පහරට හසුව එම දෙදෙනාම අතුරුදන්ව ඇති අතර ඔවුන් බේරාගැනීමට ප්‍රදේශවාසියෙක් ද ජලයට බැස ඇති බව වාර්තාවෙයි.

පළමුව බිරිඳගේ දේහය සොයාගෙන තිබුණු අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සැමියා සහ ඔවුන් බේරාගැනීමට ගිය ප්‍රදේශවාසියාගේ සිරුරද සොයාගෙන තිබේ.

Share This