වික්ටෝරියාව ඔටෝ ඇරේ

වික්ටෝරියාව ඔටෝ ඇරේ

අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් වර්ෂයකට පසු ඊයේ (20) රාත්‍රී විවෘත වූ බව වික්ටෝරියා වේල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පැවසීය.

කියුබික් ඝන මීටර් මිලියන 722ක ධාරිතාවයෙන් යුතු වික්‌ටෝරියා ජලාශයේ විවෘත වූ වාන් දොරටු මගින් තත්ත්පයට ජලය ඝන මීටර් 159ක් මුදා හැරෙන බව කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

මෙම වර්ෂයේදී වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වූ පළමු අවස්ථාව මෙය වන අතර ඊයේ රාත්‍රී 08.10ට පමණ දොරටු දෙක විවෘත විය.

ජලාශයේ මඩ සොරොව්ව විවෘත කිරීම ද ඊයේ (20) දහවල් සිදුවූ අතර මිනිත්තු විස්සක කාලයක් සොරොව්ව විවෘත කොට දොරටුව අසල තැම්පත්වී තිබුණු මඩ මුදා හැරීමට ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබුණි.

වික්ටෝරියා ජලාශය වාන් දැමීමත් සමඟ සැලකිය යුතු ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට මුදැ හැරෙන බැවින් ගංගාව පරිහරණය කරන පිරිස් දැඩි විමසිලිමත් විය යුතු යැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කළේය.