අයි.එස්.අයි.එස්. සමග සබඳතා පැවැත්වූ අයිය මලෝ දෙදෙනෙක් හලාවතදී කොටුවෙයි

අයි.එස්.අයි.එස්. සමග සබඳතා පැවැත්වූ අයිය මලෝ දෙදෙනෙක් හලාවතදී කොටුවෙයි

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බව කියමින් කොළඹ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියේ යැයි කියන එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් හලාවත ප්‍රදේශයේ දී කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනුණ එක් සහෝදරයකු පිට පළාතක ධීවර වරායක ද අනෙක් සහෝදරයා කොළඹ කන්ටේනර් අංගනයක ද සේවය කරන්නකු යැයි පැවසේ.

අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් බව කියමින් ඉන්දියාවේ දී එරට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිවු දෙනා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේදී හෙළිවූ තොරතුරු මත මෙම සහෝදරයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව, අත් අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා ද රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන එම විශේෂ පොලිස්‌ කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම සහෝදරයන් දෙදෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටින මවගේ නිවෙසේ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.