වාහන ආනයනය ගැන සුබ පණිවුඩයක්

වාහන ආනයනය ගැන සුබ පණිවුඩයක්

අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග අද (08) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බවත් ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඊට ඇතුළත් වනු ඇති බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව, ආනයන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනු ඇති බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම, සියලු වාහන ආනයනය කිරීම එක්වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බව ආනයනකරුවන් එහි දී පෙන්වා දුන්නේය.

පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදී වශයෙන් කොටස් වශයෙන් ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් ප්‍රායෝගික බවත් එහි දී අවධාරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම, බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

Share This