වාහන ආනයනය ගැන සුබ පණිවුඩයක්

වාහන ආනයනය ගැන සුබ පණිවුඩයක්

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලැබ ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ඉවත් කිරීමට අවශ්‍ය බවට භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් එළඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සූදානම් වන නිර්දේශය රජය පිළිගැනීමට සූදානම් නම් එලෙස ලබන වසර මුලදී එම තහනම ඉවත් කෙරෙනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

මෝටර් රථ ආනයන තහනම ඉවත් කරන්නේද නැද්ද යන අවසන් තීරණය ගැනීම සඳහා එම කමිටුවේ නිර්දේශය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.

රජය වාහන ආනයන තහනම ලබන වසර මුලදී ඉවත් නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබාදී ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වනු ඇති බවත් එම නිසා ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි කමිටුව තීරණය කළ බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

ඇමෙරිකානු ඩොලරයේ අගය දිගු කලක් පාලනය කිරීමට නොහැකි බැවින් ආනයන තහනම ඉවත් කිරීම වැදගත් බව ඔහු ප්‍රකාශ කළේය.

නමුත් ආනයනය කරනු ලබන වාහන මාදිලි සහ එම වාහනවල නිෂ්පාදිත වර්ෂ තවමත් තීරණය කර නැතැයි එම නිලධාරියා පැවැසුවේය.

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 800 ක් ශ්‍රී ලංකාවට අහිමි වුවත් ඉන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 340 ක බදු ආදායමක් රජයට ලැබෙනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේය.

එමගින් ලබන වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබාදී ඇති අදායම් ඉලක්ක සපුරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔහු පැවැසුවේය.

Share This