යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකික සෙබළෙකු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට

යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකික සෙබළෙකු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට

යුක්රේන – රුසියානු යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලාංකික හිටපු සෙබළෙකු මියගොස් ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මෙසේ මියගොස් ඇත්තේ, ශ්‍රී ලංකා හමුදාව හැරගොස් රුසියානු හමුදා සමග එක්වූ වසර 10ක හමුදා පළපුරුද්ද ලැබූ නිපුන සිල්වා නමැති 27 හැවිරිදි අයෙකු බව යුද්ධ බංකරයේ ඔහුගේ ආසන්න සගයා වූ සේනක බණ්ඩාර අල් ජසීරා පුවත් සේවය වෙත පවසා තිබේ.

රුසියාවේ ඩොනෙට්ස්ක් පළාතේ රුසියානු ආරක්ෂක බංකරයක් මුර කරමින් සිටියදී යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව පපු පෙදෙස සහ පාදවලට දරුණු තුවාල වී සෙබළ නිපුන මියගිය බවත් තුවාල ලැබූ නිපුන බංකරයේ දමා ඒම හැර වෙනත් විකල්පයක් නොවූ බවත් සේනක බණ්ඩාර අල් ජසීරා වෙත පවසා ඇත.

මීට පෙර යුක්රේන පාර්ශවය වෙනුවෙන් සටන් කර කපිතාන් රනීශ් හේවගේ රුසියානු ප්‍රහාරයකින් මියගිය අතර මේ දක්වා යුක්රේන – රුසියා යුද්ධය නිසා ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලාංකික සෙබළුන් දරිද්‍රතාව නිසා මුදල් සොයා ගැනීමට රුසියා – යුක්රේන යුද්ධයට සහභාගි වෙමින් සිටින බවත් ශ්‍රී ලාංකික සෙබළුන් සිය ගණනක් රුසියාව වෙනුවෙන් රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ලේ යුද්ධයේ නියැළී සිටින බවත් අල් ජසීරා වාර්තා කරයි.

කෙසේ වෙතත්, ඔවුන් මසකට ඩොලර් 3,000කට ආසන්න වැටුප් ලබන බව ද එම සෙබළුන් රුසියානු පුරවැසිකම ලබා එහි රැඳෙනු ඇති බව ද එම අල් ජසීරා වාර්තාව පෙන්වා දෙයි.

එසේ ම බොහෝ විශ්‍රාමික ශ්‍රී ලාංකික සෙබළුන් රුසියානු හමුදා සමග එක්වී යුද්ධයට එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින බව ද එම අල්- ජසීරා පුවත්පත් වාර්තාව හෙළි කරයි.