අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් චෝදනා 34කට ට්‍රම්ප් වරදකරු වෙයි

අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් චෝදනා 34කට ට්‍රම්ප් වරදකරු වෙයි

නිල් චිත්‍රපට නිළියක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය ‘යට ගැසීමට’ ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු විය.

නිව්යෝක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට චෝදනා 34 ක් එල්ල වී තිබුණි. හිටපු ජනාපධිතිවරයා චෝදනා සියල්ලටම වරදකරු විය.

ඒ අනුව ජූලි 11 වැනිදා ඔහුට දඬුවම් නියම කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 237 ක අමෙරිකානු ජනාධිපති ධූර ඉතිහාසයේ හිටපු හෝ ජනාධිපති ධුරයේ සිටින පුද්ගලයෙකු අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු අවස්ථාව මෙයවේ.

හිටපු ජනාධිපතිවරයාට සිරදඬුවම් නියම කිරීම සිදුවනු ඇති නමුත් නීති විශාරදයින් පවසන්නේ සිරදඬුවමක් වෙනුවට දඩයක් නියම කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

අමෙරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය. එහිදී වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පරාජය කර ඩොනල්ඩ් ට්‍රම්ප්, නැවත ධවල මන්දිරයට පැමිණීමේ ප්‍රචාරක ව්‍යාපාරය මේ වන විට පැවැත්වෙන අතරතුර මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබීම ද විශේෂත්වයකි.

මෙම නඩුවේ කේන්ද්‍රය වූ ට්‍රම්ප් සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බව කියන වැඩිහිටි චිත්‍රපට රංගන ශිල්පිණියක් වන ස්ටෝමි ඩැනියෙල්ස් ඇතුළු සාක්ෂිකරුවන් 22 දෙනෙකුගෙන් උසාවිය සති හයක් පුරා විභාග කළේය.

2016 පැවති මැතිවරනය ආසන්නයේ වැඩිහිටි සිනමා තරුවකට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු නීතිඥවරයා විසින් කරන ලද ගෙවීමක් වසන් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබේ.

මෙම ඒකමතික තීන්දුවට එළඹීමට පෙර ජූරි සභිකයන් 12 දෙනා දින දෙකක් තිස්සේ සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

හිටපු ජනාධිපතිවරයා මෙම තීන්දුව ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසන්නේ විනිසුරුවරයා දූෂිත බවයි. සැබෑ තීන්දුව ලබන නොවැම්බර් 5 වැනිදා ප්‍රකාශයට පත් කරනු ඇති බව නඩු තීන්දුවෙන් පසුව ට්‍රම්ප් පවසා ඇත.

Donald Trump becomes 1st US president tried and convicted of crimes - ABC  News