ත්‍රීවිල්වලට අලුත් වෙනසක්.

ත්‍රීවිල්වලට අලුත් වෙනසක්.

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේය.

“මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙට්‍රල් ත්‍රීවිල් විදුලි ත්‍රීවිල් බවට පරිවර්තනය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතියක් පටන් ගන්නවා අද සිට. ඒ අනුව තෝරාගන්නා ලද පෙට්‍රල් ත්‍රීවිල් 300ක් විදුලි ත්‍රීවිල් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. මේ සඳහා අපිට සම්පූර්ණ මුල්‍ය ආධාර ලබාදෙනවා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)විසින්. එතකොට ත්‍රීවිල්හිමියන්ට වියදමක් වෙන්නේ නෑ සතයක්වත් මේ ත්‍රීවිල් 300ට අදාළව. ඒ අනුව අද සිට මේ නියමු ව්‍යාපෘතිය පටන්ගන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ලක්ෂ 5ක් දක්වා ත්‍රීවිල් මේ විදියට වෙනස් කරන්න. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන බලාපොරොත්තු වෙනවා ලෝක බැංකුවෙන් ආධාරයක් අරන් ඇවිල්ලා බැංකු හරහා ලෝන් එකක් විදියට ත්‍රීවිල් හිමියන්ට ලබාදීලා මේ ක්‍රියාවලිය සිදුකරන්න.”

මෙම ව්‍යාපෘතිය යටතේ ත්‍රිරෝද රථහිමියන්ට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මෙලෙස පැහැදිලි කළේය.

“දැනට ත්‍රීවිල් ගහණය ඇතුළේ තියෙන වැඩියෙන්ම පරිසරයට හානිකර දුම් පිටකරන ටූස්ට්‍රෝක් ත්‍රීවිල් තමා අපි දැනට තහනම් කරලා තියෙන්නේ. ෆෝස්ට්‍රෝක් විතරයි ලංකාවේ ලියාපදිංචි කරන්න පුළුවන්. නමුත් ටූස්ට්‍රෝක් ත්‍රීවිල් ගොඩක් ලංකාවේ තාම තියෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වුණේ මේවා මුල් අදියර යටතේ වෙනස් කරන්න. මේක පරිසරයට කිසිදු හානියක් නොවන ක්‍රමවේදයක් තමා ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් කියන එක. ඒ වගේම ත්‍රීවිල් එකටත් ලොකු ලාභයක් වෙනවා. අඩු පිරිවැයක් තමා දරන්නේ.”