පාසල් සිසුන්ට ‘තූල්’ බෙදූ අයෙක් කොටුවෙයි

පාසල් සිසුන්ට ‘තූල්’ බෙදූ අයෙක් කොටුවෙයි

හොරොව්පොතාන නගරයේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ තූල් නැමැති මත්කුඩු කිලෝ 2 මිලිග්‍රෑම් 100 ක් සමග පනස් හැවිරිදි සැකකරුවෙකු හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු හොරොව්පොතාන නගරයේ ලී බඩු වෙළෙඳ සැලක් පවත්වාගෙන යන අයෙකි. ඔහු හොරොව්පොතාන ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

පසුගිය 23 වැනිදා හොරොව්පොතාන පොලිසියට ලද තොරතුරක් මත හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.එන්.අයි දයානන්ද මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් යුක්තියේ මෙහෙයුමට සමගාමීව මෙම ලී බඩු වෙළෙඳසැල පරීක්ෂාවට ලක් කර ඇත. ඒ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්කුඩු අසුරන ලද පැකට් 80 සොයා ගැනීමට පොලිස් කණ්ඩායම එහිදී සමත්ව තිබේ.

ඒ අනුව, වෙළඳසැලේ හිමිකරු වන පනස් හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු මෙම මත්කුඩු පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් එක් පැකට්ටුවක් රුපියල් 500ක මිලකට පාසල් සිසුන්ට අලෙවි කරන බවත් කලක පටන් මෙම සැකකරු විසින් පාසල් සිසුන්ට මෙම මත්කුඩු අලෙවි කර ඇති බවට පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

සැකකරු හොරොව්පොතාන පොලිස් අත්අඩංගුවේ පසුවේ. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කැබිතිගොල්ලෑව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි සිදුකරනු ලැබේ.

Share This