පිටරට සිටින ලංකාවේ ‘පාතාල කෙරුමෝ’ අල්ලන්න මෙහෙයුමක්

පිටරට සිටින ලංකාවේ ‘පාතාල කෙරුමෝ’ අල්ලන්න මෙහෙයුමක්

විදේශ රටවල සිටින මෙරට පාතාලය සහ කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ, මේවන විට ජාත්‍යන්තර පොලීසියේ සහ අදාළ රටවල්වල රජයන් සමග සාකච්ඡා කරමින් ඒ සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

කිරිදිවැල සතුටු පවුල අධ්‍යාපන ප්‍රදර්ශනය සහ වෙළඳ සැණකෙළියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ටිරාන් අලස් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

කිරිදිවැල සතුටු පවුල අධ්‍යාපන ප්‍රදර්ශනය සහ වෙළෙඳ සැණකෙළිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිදිවැල මධ්‍ය මහා විද්‍යාලය සහ කිරිදිවැල මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (25) ආරම්භ කෙරිනි, එය 31 වනදා දක්වා පැවැත්වේ.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අධ්‍යාපන සහ වෙළඳ කුටි 50කට වැඩි ගණනකින් මෙය සමන්විතය.

මෙහිදී ටිරාන් අලස් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

යුක්තිය වැඩසටහන අපි කිසිම විටක නතර කරන්නේ නැහැ. ඉදිරි මාස 6 තුළ මෙය අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා. කිසිම බලවතෙකුට ඊට බාධා කරන්න ඉඩ දෙන්නේ නැහැ.

මෙරට පාතාලය සහ මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයන් පිලිබදව තොරතුරු අපිට ලැබී තිබෙනවා. ඩුබායි වල 29 දෙනෙක් සහ ප්‍රංශයේ එක් අයෙක් එලෙස සිටිනවා. ඒ අයව අත් අඩංගුවට ගැනීමට අදාළ අංශ සමග සාකච්ඡා කරමින් සිටිනවා.

පාතාලය 100% ක්ම නැතිකරන්න බැරිවෙයි. මම මේ ඇමතිකමේ ඉන්නකම් ඒ සදහා පුලුවන් උපරිම කටයුතු කරනවා කියලා සහතික වෙනවා. යනුවෙන් පැවසීය.

Share This