තිරිඟු පිටි මිල ඉහළට

තිරිඟු පිටි මිල ඉහළට

තිරිඟු පිටි ආනයනය කිරීමේදී අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු බවට මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමෙන් පසුව වෙළෙඳපොළේ ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් හතළිහකින් ඉහළ දමා ඇත.

මෙරට තිරිඟු පිටි බෙදාහරින සමාගම් විසින් තිරිඟු පිටි මිල වරින් වර ඉහළ දැමීම හේතුවෙන් පිට​කොටුව තොග වෙළෙඳුන් තිරිඟු පිටි ආනයනය කළහ.

ආනයනික තිරිඟු පිටි කිලෝවක් පසුගිය දිනවල රුපියල් 160.00කට අලෙවි කෙරුණු අතර ඉහත සඳහන් ගැසට් නිවේදනයත් සමග තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 200.00ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් තිරිඟු ඇට ආනයනය කර කොළඹ සහ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රවලදී ඒවා අඹරා බෙදා හරින බවද තිරිඟු ඇට කිලෝවක් සඳහා ආනයනික බදු ලෙස අය කෙරෙන්නේ රුපියල් තුනක් පමණක් වුවද තිරිඟු පිටි ආනයනයේදී කිලෝවකට රුපියල් හතළිහක බද්දක් අය කෙරෙන බව ආනයනකරුවන් කියා සිටිති.

මෙවැනි තත්ත්වයක් යටතේ දේශීය තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 160ක් දක්වා අඩු කිරීමට සමාගම්වලට හැකියාව පවතින බව ආනයනකරුවන්ගේ අදහස වී ති​බේ.

මේ අතර තිරිඟු ඇට ආනයනය කර මෙරටදී පිටි කර අලෙවි කරන සමාගම්වලට රජය සහනයක් ලබාදීම නිසා රජයට හිමි වීමට තිබූ කෝටි ගණනක බදු ආදායම අහිමි වී ගොස් ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ උපදේශක පී.එම්. අබේසේකර චෝදනා කරයි.

2002 සිට මේ දක්වා තිරිඟු ඇට ආනයනය කර මෙරටදී පිටි කරන සමාගම්වලට ඇති බදු නිදහසට මුවා වෙමින් කිලෝග්‍රෑමයකින් රුපියල් පනස් තුනකට (53) අධික ලාභයක් ලබන බව වාර්තාවේ.

තුර්කියේ තිරිඟු පිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 450කට පමණ අලෙවි වූ අතර මේ වන විට එය ​​ඩොලර් 355 දක්වා පහත බැස තිබේ. ඒ අනුව තිරිඟු පිටි ආනයනය කිරීමේදී රජය පසුගියදා පැන වූ නව සියයට පහළොවක බද්ද සියයට දහයක වරාය හා ගුවන් සේවා බද්ද හා සියයට 2.5 සමාජ ආරක්ෂණ බද්දද ගෙවා ​තොග සැපයුම්කරුවන් විසින් අලෙවිකරන්නේ රුපියල් 158ක මිලටය.

එහෙත් බදුවලින් නිදහස් කර ඇති සමාගම් පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 211ක තොග මිලට අලෙවි කර රුපියල් 53ක අධික ලාභයක් ලබන බව අබේසේකර මහතා පවසයි.

පසුගිය අප්‍රේල් 28 දින නිකුත් කළ ගැසට් නිවේදනයකින් ද ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් දහතුනක බද්දක් පැන වූ අතර තිරිඟු ඇට ආනයනය කරන සමාගම්වලට එය ද බල නොපායි. මාසිකව පිටි මෙට්‍රික් ටොන් හැටපන් දහසකට ආසන්න ප්‍රමාණයක් රටේ පරිභෝජනය කරයි. මේ වන විට පිටි මෙට්‍රික් ටොන් හැත්තෑ දෙදහසක් ආනයනය කර ගබඩාවල පවතින බව ආනයනකරුවන් පවසති.

Share This