කුඩු සමග ඇල්ලූ කොස්ගොඩ තාරකගේ අනියම් බිරිඳ නිදොස් කොට නිදහස්

කුඩු සමග ඇල්ලූ කොස්ගොඩ තාරකගේ අනියම් බිරිඳ නිදොස් කොට නිදහස්

හෙරොයින් කිලෝ පහකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ සහ සගයකු කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ නිදොස් කොට නිදහස් කළේය.

මීට වසර හතරකට පෙර රාජගිරිය ඔබේසෙකරපුර ප්‍රදේශයේදී පෙරොයින් කිලෝ 13කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පැමිණිල්ලෙන් කීවත් පැමිණිල්ලේ සාක්කි සලකා බැලීමේදී එවැනි වැටලීමක් සිදුවූවාද යන්න සැක සහිත බව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් විනිසුරුවරයා නිකුත් කළ නියෝගයේ සඳහන් කර ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි සඳහන් කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ බව කියන නිලංකා රසානි සහ ඇගේ සහායකයකු බව කියන මොහොමොඩ් සෆීර් නමැත්තෙකි.

2019 නොවැම්බර් 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ඔබේසෙකරපුර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් පහක් ළඟ තබා ගැනීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නායක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැනුම් දුන් අතර රජයේ රස පරීක්ෂකවරයා විසින් එහි ශුද්ධ හෙරොයින් කිලෝ ග්‍රෑම් පහක් ඇති බව තහවුරු කර තිබිණි.

දීර්ඝ නඩු විභාගය අවසානයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා දක්ෂ පලපුරුදු නිලධාරීන් වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටලීමට අදාළව දුන් සාක්කි විශ්ලේෂණය කිරීමේදී මෙවැනි වැටලීමක් වූවාද යන්න පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි සඳහන් කළේය.

කුඩු ජාවාරම්කරුවෙකුගේ අනියම් බිරිඳක් විසින් පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කාන්තා පොලිස් නිලධාරිනියක් කැඳවාගෙන නොයාම ගැටලු සහගත බව තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි ද සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.