සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් මැයි මස 09 වෙනිදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබේ.

ආර්ථික යුක්තිය ඉටුනොවීමට අදාළව වෘත්තීය සමිති 72 කින් යුත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට මාස 4කට පෙර ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුණි.

පසුව එය අප්‍රේල් මාසය තෙක් තාවකාලිකව නවතා දමන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනා ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුව මතය.

කෙසේ වෙතත්, මෙතෙක් එම පොරොන්දුව නිසි ලෙස ඉටුනොවුන බව දන්වමින් නැවතත් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ, සම කැඳවුම්කරු, චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

ඒ අනුව, රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම වෙනුවට 09 වෙනිදා සිට පළාත් වශයෙන් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල රාජකාරියෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මැයි 09 වෙනිදා උතුරු මැද පළාත තුළ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ධනය ක්‍රියාත්මක වන අතර, මැයි මස 13 වෙනිදා මධ්‍යම පළාත, මැයි 14 වෙනිදා සබරගමුව පළාත, මැයි 15 වෙනිදා වයඹ පළාත, මැයි 16 වෙනිදා දකුණු පළාත, මැයි 20 වෙනිදා ඌව පළාත සහ මැයි 21 වැනිදා බස්නාහිර පළාත යනාදී වශයෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇත.

Share This