ක්‍රීඩා ලේකම්ගෙන් අභියාචනාධිකරණයට ප්‍රකාශයක්

ක්‍රීඩා ලේකම්ගෙන් අභියාචනාධිකරණයට ප්‍රකාශයක්

විදෙස් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් වියදම් වන ආකාරය පිළිබඳ රජයේ විගණනයට භාජනය විය යුතු බවත් එම මුදල් හිතු මනාපයට වියදම් නොකර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වියදම් කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා මේ බව දැනුම් දුන්නේ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි පෙත්සම සළකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන් සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් සළකා බැලින.

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙසේ පැවැසුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවතීම රඳා පවතින්නේ එහි ලියාපදිංචිය අනුවය.ඒ අනුව එයට රජයේ පිළිගැනීමක් ලැබුණා.ඒ අනුව තමයි විගණකාධිපති විගණන කටයුතු ආරම්භ කළේ.මෙම ආයතනයට එන මුදල් පිළිබඳ විනිවිදභාවයක් තිබිය යුතුයි.විගණනයේ අරමුණ විය යුත්තේ එයයි. විදෙස් රටවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා යෙදිය යුතුයි.විදෙස් රටවලින් ලැබෙන මුදල් පිළිබඳ විනිවිදභාවයකින් සහ වගවීමකින් යුක්ත විය යුතුයි. විගණකාධිපතිවරයා ඊට මැදහත් වන්නේ ඒ සඳහායි.මෙහිදී විගණන වාර්තා 2 ක් ඉදිරිපත් වී තිබෙනවා.ඒවායින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ අනාවරණය වුණා.

පොළොන්නරු ප්‍රදේශයේ ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩාංගණය මිලියන ගණනක් වියදම් කර ආරම්භ කලත් එම ව්‍යාපෘතිය සම්පූර්ණ කර නැහැ.තවද වසර ගණනාවක් නිලවරණය නොපැවැත්වූ දකුණු පළාත් ක්‍රීඩා සමාජයටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 84 ක් ලබා දී තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයට වගවිය යුතුයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය ලබාදී ඇත. අනිත් අතට රජයේ විගණනය සිදු කිරීමේදී විගණන පනත අනුව අදාල ලියකියවිලි ලබා දීමට අදාල ආයතනය බැඳී සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහිදී එම ලියකියවිලි නිසි ආකාරව ලබා නොදීමෙන් වරදක් සිදු කර තිබෙනවා. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊට නඩු පැවරිය යුතුයි.ඉතා වැදගත් ලියකියවිලි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අස්ථාන ගත කරලා අනිත් අතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණ විගණන වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ අත්‍යාවශ්‍ය කරුණු වසන් කර ගෙන.

පෙත්සම්කරු අධිකරණයට පැමිණ අදාල විගණන වාර්තාව බොරු බව ඔප්පු කර එය බලරහිත කරගත යුතුයි.නමුත් ඔහු එසේ නොකර ක්‍රීඩා අමාත්‍යවරයා සහ අතුරු කමිටුවට එරෙහිව අධිකරණයට පැමිණීමෙන් ඵලක් නැහැ.ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමිය යුතුයි.

Share This