ජනපති මරන්න ස්නයිපර් අවියක් සෙවූ තරුණයෙකු අත්අඩංගුවට

ජනපති මරන්න ස්නයිපර් අවියක් සෙවූ තරුණයෙකු අත්අඩංගුවට

එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකි.

බේකරි නිෂ්පාදන ජංගම අලෙවිකරුවකු ලෙස සේවය කරනු ලබන මෙම තරුණයා, ඊයේ (03) දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවලදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන ගොස් ඇත.

උතුරු මැද පළාතේ පැරණිතම පාසල වන එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් එළැඹෙන 07 වන දින පස්වරු 03.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිතය.

එම උත්සවය වෙනුවෙන් එළැඹෙන 07 වැනි දින ජනාධිපතිතුමන් සහභාගී වීමට සිටින පසුබිමක අදාළ තරුණයා විසින් ඊයේ (03) දින පෙරවරුවේ තම ෆේස් බුක් පිටුවේ ජනතාවගේ ආවේගය ඇවිස්සෙන පරිදි සටහනක් තබා ඇත.

එම සටහන සම්බන්ධයෙන් බුද්ධි අංශ නිළධාරීන්ට තොරතුරු ලැබීමෙන් අනතුරුව පරීක්ෂණ සිදු කිරීම සඳහා ඔහු එප්පාවල පොලීසියට කැඳවා කරුණු විමසා ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා අදාළ තරුණයා ඊයේ (03) රාත්‍රියේම කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.

මේ වන විට අදාළ සටහනද එම තරුණයා විසින් සිය ෆේස් බුක් ගිණුමෙන් ඉවත් කර ගෙන ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලසුමක් හෝ අවශ්‍යතාවක් ඔහුට නොපවතින බවද අනාවරණය වී ඇත.

අදාළ තරුණයාගේ පියා කුලී රථ රියදුරකු ලෙස සේවය කරන බවත්, ඔවුන් අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් නොවන බවත් අනාවරණය වී ඇත.

අදාළ තරුණයා ස්නයීෆර් ගැන දන්නේ කෙසේදැයි විමසා ඇති අතර, තමන් පබ්ජි වැනි පරිඝණක හා ජංගම දුරකථන ක්‍රීඩා සිදු කරන බවත්, ඒවායේ දුර සිටින පුද්ගලයින් ඝාතනය කිරීම සඳහා ස්නයිෆර් යොදා ගන්නා බවත් පවසා ඇත.

තමන් මෙම ෆේස්බුක් සටහන දුරදිග නොසිතා දැමුවක් බවද ඔහු පවසා ඇත. අදාළ තරුණයා පරිගණක හා ජංගම දුරකථන ක්‍රීඩා සඳහා තදින් ඇබ්බැහි වූවෙකු බවද පරීක්ෂණ නිළධාරීන් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.