ගුවන් යානා ධාවනයට වැස්සෙන් බාධා – කටුනායකට එන ගුවන් යානා මත්තලට හරවා යවයි

ගුවන් යානා ධාවනයට වැස්සෙන් බාධා – කටුනායකට එන ගුවන් යානා මත්තලට හරවා යවයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේ අද (02) අලුයම් කාලයේ පැවති අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඒ අනුව අබුඩාබි නුවර සිට 06/02 දින අලුයම 03.25 ට ගොඩ බැස්සවීමට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

මීට අමතරව සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළේ සිට අද අලුයම 04.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

ඒ වනවිටත් හම්බන්තොට මත්තල ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශය තුළත් වැසි තත්වය පැවති බව සදහන් කළ මත්තල ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා , එම ගුවන් යානා 06/02 දින අලුයම 04.15 පමණ වනවිට තම ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ද සදහන් කළේය .

අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් යානයේ මගීන් , ගුවන් යානයෙන් පිටතට නොබස්වා පැවති අතර , මෙම ගුවන් යානය යළිත් අද උදෑසන 08.13 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහෙත් සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ සිටි මගීන් එම ගුවන් යානයෙන් පිටතට බස්සවා , අවශ්‍ය පහසුකම් එම මගීන්ට සළසා දීමෙන් අනතුරුව , එම ගුවන් යානය ද අද දින උදෑසන 10.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.