පොහොට්ටුවේ විධායක සභාව අද රැස්වෙයි

පොහොට්ටුවේ විධායක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මෙම රැස්වීම පැවැත්වෙනු ඇත.

එහිදී දේශපාලන වශයෙන් ඉතා වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවයි, පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම, පක්ෂයේ විනය කමිටුව ඇතුළු තවත් කමිටු කිහිපයක් පත්කර ගැනීමත්, පක්ෂයේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා සුදුස්සන් පත්කර ගැනීමත් සිදුවීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව රැස්වෙනවා හවස 3ට, පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවාසයේ දී. සාමාන්‍යයෙන් විධායක සභාව අපි නිශ්චිත ව්‍යවස්ථානුකූල ආකාරයට අඛණ්ඩව අවශ්‍ය අවස්ථාවන්හි දී රැස්වෙනවා. ඒ අනුව සුපුරුදු හමුවක්. මේ මොහොතට අදාළ පවතින දේශපාලන තත්ත්වයත් ඒ වගේම පක්ෂ අභ්‍යන්තරයට අදාළ කරුණු කිහිපයකුත් සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙනවා.”