උතුරු මැද ප‍ළාත් ස‍‍‍භාවේ ලොකු පුටු හතරක වෙනසක්

උතුරු මැද ප‍ළාත් ස‍‍‍භාවේ ලොකු පුටු හතරක වෙනසක්

උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යාංශ පහෙන් හතරක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීමට උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කටයුතු කර ඇත.

ඒ අනුව, උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරිය ලෙස කටයුතු කළ අභය ලක්ෂ්මි හේවාපතිරණ මහත්මිය ඉන් ඉවත්කර වාරිමාර්ග හා ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරිය ලෙස පත් කර තිබේ.

ඉන් පුරප්පාඩු වූ ප්‍රධාන අමාත්‍යංශ ලේකම් තනතුරට ආහාර හා සමූපකාර අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ සිරිමෙවන් ධර්මසේන මහතා පත්කර තිබේ.

එමෙන්ම, කෘෂිකර්ම, ධීවර කටයුතු හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ විජය වනසිංහ මහතා ආණ්ඩුකාර ලේකම්වරයා ලෙස පත්කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කේ.එම්.එච්.සමන්ත කුමාර ජයලත් මහතා පත්කර ඇති අතර වාරිමාර්ග හා ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චින්තක රණසිංහ මහතා ආහාර හා සමුපකාර අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් පත් කර තිබේ.

මෙසේ පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංශෝධන වීමත් සමඟ අලුතෙන් පත් වූ ලේකම්වරුන් ඊයේ (27) තම තනතුරුවල වැඩ භාර ගැනීම සිදු කළහ.

මෙවර සංශෝධනය නොවූ එකම අමාත්‍යංශය වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය වන අතර එහි ලේකම්වරයා වශයෙන් තවදුරටත් එම්.සී.කේ.වන්නිනායක මහතා කටයුතු කරයි.

හදිසියේම උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යාංශ හතරක අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංශෝධනයක් සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ විමසීමට අවස්ථා කිහිපයකදී උත්සහ දැරුවද එය අසාර්ථක විය.

ඒ පිළිබඳව උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර මහතාගෙන් කළ විමසීමේදී මෙසේ කීවේය.

“කිසිම චෝදනාවක් මත නෙවෙයි මේ ලේකම්වරුන්ගේ මාරුවීම සිදු කළේ. අලුතෙන් විශේෂ ශ්‍රේණියට පත්වෙච්ච නිලධාරීන් දෙන්නෙක් ආවා. ඒ අය එන විට අපි කොහොමත් බලාගෙන හිටියේ මේ සංශෝධනය සිදු කරන්න. ආණ්ඩුකාර ලේකම් තනතුරේ වැඩ බැලුවෙත් කෘෂිකර්මාත්‍යාංශ ලේකම්වරයා. අමාත්‍යාංශය තුළ සංශෝධනයක් කරන්න අපට වුවමනාවක් තිබුණා. අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ උවමනා එපාකනුත් සැලකිල්ලට ගෙන ඒ අනුව තමා මේ මාරුවන් සිදු කළේ. ඒක මාරුවීම් කියනවට වඩා අලුතෙන් පත් කිරීම් කිව්වොත් තමා හරි.”