වින්ඩි ගුණතිලකට ජාත්‍යන්තර සම්මානයක්

වින්ඩි ගුණතිලකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන “අය්යෝ සාමි” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක, දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී (16 th Edison Awards) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023) හිමි සම්මානය හිමි කර ගෙන තිබේ.

මෙම සම්මානය හිමිකර ගත් ඇය ඊයේ (26) රාත්‍රී 06.10 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර ඉකුත් මාර්තු 24 වැනි දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි.

මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සදහා සංගීත‍ය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක් වී සිටියහ.

එසේම, වින්ඩි ගුණතිලකගේ දෙමාපියන් වන රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා ද සනුක වික්‍රමසිංහගේ පියා වන සංගීත් වික්‍රමසිංහ ඇතුළු විශාල පිරිසක් මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට සහභාගී වීම සදහා ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගොස් තිබුණි.

එහිදී අදහස් දැක්වු වින්ඩි ගුණතිලක,

“පළමු වතාවට ජාත්‍යන්තර සම්මානයක් හම්බ වුණේ. හරිම සතුටුයි ලංකාවට ප්‍රසන්ට් කරන්න ලැබුණ එක ගැන.”