ජී.එල්.ඉවතට – පොහොට්ටු සභාපති ධුරය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන්ට

ජී.එල්.ඉවතට – පොහොට්ටු සභාපති ධුරය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

අද (22) පෙරවරුවේ පැවති පක්ෂ මහා සභා රැස්වීමේ දී උන්වහන්සේගේ පත්කිරීම ඒකමතිකව සිදුකළ බවයි, සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

අද දිනයේ පැවැත්වෙන මහ සභා රැස්වීමට සහභාගී වන ලෙස එම පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට පක්ෂ ලේකම්වරයා විසින් ලිපියක් මඟින් දැනුම්දී තිබුණද ඔහු ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව, අද මහ සභා රැස්වීම පැවැත් වුණේ පක්ෂ සභාපතිවරයා නොමැතිවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා වන මහ සභා රැස්වීම, පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00 ට පමණ එම පක්ෂ කාර්යාලයේදී ආරම්භ වුණි.

පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම ද අද සිදු කෙරුණු අතර ඒ අනුව, පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් කටයුතු කරනු ලබයි.

පක්ෂයේ සෙසු තනතුරුවල වෙනසක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.