ජනාධිපතිවරණයට සජබෙන් අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණයට සජබෙන් අපේක්ෂකයෙක්

ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවත්, තනතුරු ලබා නොගතයුතු බවත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

යම් හෙයකින් එවැනි ජන පීඩක ආණ්ඩුව සමග එක්වීමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙන ඒම ජනතාවගේ නාමයෙන් කරනු ලබන බලවත් වරදක් හෙයින් එවැන්නක් නොකළයුතු බවත්, එවැන්නක් සිදුකිරීම සපුරාම තහනම් බවත් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

කෙසේ වෙතත් රටට හිතැති ප්‍රගතිශීලී කටයුතු පිලිබදව සහය ලබාදීමේදී පක්ෂයක් ලෙස සාකච්ඡා කර තීන්දු ගැනීමටද එහිදී එකඟවී තිබේ.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) විපක්ෂ නායක කාර්යලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.

මේ අතර එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවටද කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළයුතු බවටත්, එම සන්ධානය ගොඩනැගීම සදහා පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කරන ලදී.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණ වලට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් මෙහිදී බලය පවරා තිබේ.

Share This