ෂොපින් බෑග් වලටත් මුදලක් අය කිරීමට වෙළදුන්ට අවස්ථාව

ෂොපින් බෑග් වලටත් මුදලක් අය කිරීමට වෙළදුන්ට අවස්ථාව

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

අදාළ ගැසට් නිවේදනයට අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අවන්ති පෙරේරා විසින් මෙම දැනුම් දීම සිදුකළාය.

මෙම පෙත්සම අද එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් සඳහන් කර තිබුණේ භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා වෙළෙඳසැල්වලින් ලබාදෙන ෂොපින් බෑග් හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බවය.

එම මලු සඳහා මුදලක් අය කළහොත් ඒවා භාවිතය අධෛර්යමත් වනු ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර සංවිධානය ඒ හරහා පරිසර හානිය අවම කර ගැනීමට හැකි වනු ඇති බවත් සඳහන් කළේය.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දන්වා සිටියේ වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී නිකුත් කරන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම වළක්වාලමින් දැනට පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බවය.

ඒ සම්බන්ධයෙන් පෙත්සංකාර පාර්ශවය සැහීමකට පත්වන බව සඳහන් කළ අතර ඉන් අනතුරුව පෙත්සම් විභාගයද අවසන් කෙරුණි.

නඩු විභාගය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වලට ප්‍රකාශයක් සිදු කළ පෙත්සම්කාර පාර්ෂවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය. රවින්ද්‍රනාත් දාබරේ කියා සිටියේ මෙම අධිකරණය තීරණයත් සමඟම වෙළඳ සැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබා දෙන සිලි සිලි මලු සඳහා පාරිභෝගිකයින් ගෙන් මුදලක් අය කර ගැනීමට වෙළදුන්ට අවස්ථාව ලැබෙන බවයි.

Share This