තෙලිජ්ජවලදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ වැරදි තරුණයෙක් !

තෙලිජ්ජවලදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ වැරදි තරුණයෙක් !

නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ ජංගම දුරකථන අලෙවිසැලක් තුළදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඔවුන් ඉලක්ක කළ පුද්ගලයා නොවන බවට පොලිසිය විසින් සැක පළකරනවා.

ඒ අනුව, ඔවුන් ඝාතනය කිරීමට සූදානම් වී ඇත්තේ එම ජංගම දුරකථන අලෙවිසැලේ හිමිකරුවන දිල්ෂාන් මදුෂංක යන තරුණයායි.

කෙසේ වුවද, වෙඩිවැදී ඇත්තේ ජංගම දුරකථනය චාජ් කර ගැනීමට දුරකථන අලෙවිසැලට පැමිණ සිටි තරුණයෙකුයි.

මිය ගිය තරුණයා මැදගෙවත්ත උඩහගෙදර මූනමල්පේ දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි මින්දික අලුත්ගමගේ නැමති තරුණයෙක්.

ඔහු දුරකථන අලෙවිසැලේ හිමිකරුගේ මිත්‍රයෙක් බවයි පැවසෙන්නේ.

දිනපතා මෙම වෙළෙඳසැලට පැමිණෙන මින්දික ඊයේත් සුපුරුදු ලෙස නිමි ඇදුම් කර්මාන්ත ශාලාවේ සිය රැකියාව නිම කොට සිය මිතුරා වූ දිල්ෂාන් මදුෂංකගේ මෙම වෙළෙඳසැලට රාත්‍රී 7.30ට පමණ පැමිණ තිබෙනවා.

මෙම තරුණයා නොබෝ දිනකින් කොරියාව බලා යෑමට සූදානම්ව සිටි අයෙකු බව තොරතුරු වාර්තා වෙනවා.

සිය දුරකථන චාජ් කර ගැනීමට අලෙවිහල තුල සිටියදී හිමිකරු වූ මදුෂංක එළිමහනේ දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිට තිබෙනවා.

ඒ අතර නාදුනන දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ ජායා පිටපත් ලබා ගැනීමට අවශ්‍ය බව පැවැසුවත් එහි එම පහසුකම් නොමැති නිසා ඉන් ඉදිරිපිට ස්ථානයක් පෙන්වා ඇති බවත් ඔවුහු අකුරැස්ස දෙසට යතුරුපැදිය ධාවනය කොට යලිත් සුළු වෙලාවකට පසු පැමිණ යමක් විමසා වෙළෙදසැල තුළට පැමිණ තිබෙනවා.

දුරකථන සංවාදයේ යෙදී සිටි හිමිකරුත් වෙළෙදසැල ඉදිරිපිට සිටි අනෙක් මිත්‍රයාගෙන් යමක් විමසූ නාදුනන පුද්ගලයා වෙළෙඳසැලට ඇතුළු වී වෙඩි තබා පලායන ආකාරය අයුරු එම ගොඩනැගිල්ලේ ඇති ආරක්ෂක කැමරා වල සටහන්ව ඇති බව පොලිසිය පවසනවා.

ඝාතනයට හේතුව හෝ වෙඩික්කරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි, පොලීසිය පවසන්නේ.

වෙඩිතැබීම සදහා පිස්තෝල වර්ගයේ ගිණිඅවියක් භාවිතා කොට ඇති බවත් භාවිතා නොකළ උණ්ඩ කිහිපයක් දුරකථන අලෙවිසල තුල තැන තැන වැටී තිබෙනු දක්නට ලැබුණු බවත් පොලීසිය පවසනවා.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතාගේ මෙහෙයවීමෙන් සිදුවුණා.

දුරකථන අලෙවිහලේ හිමිකරු එල්ල කොට සිදුකළ ඝාතනයක් බවට සැක කරන නිසා දිල්ෂාන් මදුෂංකගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබෙනවා.

ඒ අනුව, සහකාර පොලිස් අධිකාරී මහින්ද කල්දෙරා මහතා යටතේ පොලිස් ආරක්ෂාව ලබා ඔහු පොලීසිය වෙත කැදවාගෙන ගොස් තිබෙනවා.

මාලිම්බඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Share This