අර්ධ සුඛෝපභෝගී බස් බලපත්‍ර අහෝසි කිරීමට එරෙහිව තහනම් නියෝගයක්

අර්ධ සුඛෝපභෝගී බස් බලපත්‍ර අහෝසි කිරීමට එරෙහිව තහනම් නියෝගයක්

අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර 430 ක් අහෝසි කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අන්තර් පළාත් පුද්ගලික බස් රථ සංගමය සහ එහි සාමාජිකයින් 28 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමකට අදාළව අතුරු නියෝගයක් නිකුත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

අදාළ පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 28 වන දා පවත්වන බව දැනුම් දුන් අභියාචනාධිකරණය එදින ඒ පිළිබඳ කරුණු දක්වන ලෙස දන්වා ජාතික ප්‍රවාහන කොමිසම, එහි සභාපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන් 33 දෙනෙකු වෙත නොතීසි නිකුත් කළේය.

මෙම ගැටළුව අමාත්‍යවරයා සමග සාකච්ඡා කර විසඳුමක් සෙවීමට උත්සාහ කරන ලෙස ද තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේය.