web hit counter
නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ වැඩ අරඹයි

නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ වැඩ අරඹයි

මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන්හමුදා මුලස්ථානයේදී අද (30) සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා විසින් එයාර් මාර්ෂල් නිලයට අද උසස් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා ලෙස මෙලෙස වැඩ භාරගෙන ඇත.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අරඔා පසුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය අවසන් කර ද්විතීයික අධ්‍යාපනය කොළඔ ආනන්ද විද්‍යාලයෙන් සම්පූර්ණ කර තිබේ.

1988 වසරේ දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අංක 06 බඳවාගැනී‍මේ කණ්ඩායමට ඇතුළත් වූ ඒ මහතා 1990 වසරේ ඔක්තෝබර් 5 වැනිදා උපාධිය ලබා ගනිමින් ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස එක්වී ඇත.

ඔහු තම සේවා කාලයේදී අති දක්ෂ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කර ඇති අතර ප්‍රහාරක ගුවන් නියමුවෙකු ලෙසත් ප්‍රවාහන ගුවන් යානා නියමුවෙකු ලෙසත් කටයුතු කර තිබේ.

දේශීය මෙන්ම විදේශීය පුහුණුවද ලබා ගනිමින් පියාසර නිලධාරියෙකු ලෙස ඔහු විශිෂ්ට දස්කම් දක්වා ඇති අතර ගුවන් හමුදාපති ධුරයට පත්වීමට ප්‍රථම ඔහු අවසන් වරට ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරනු ලැබීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )