ලංකාවේ එකම ආදිවාසී පාසල වසා දැමීමේ සූදානමක්

ලංකාවේ එකම ආදිවාසී පාසල වසා දැමීමේ සූදානමක්

ඈත අතීතයේ සිට ආදිවාසීන් අධ්‍යාපන ලැබූ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් දළුකාන මලියදේව ප්‍රාථමිකය වසා දැමීමේ සූදානමට හා පවතින ගුරු හිඟයට විසඳුම් ඉල්ලා එම විද්‍යාලයේ දූ දරුවන්, ආදිවාසීන්, ආදි සිසුන්, මෙන්ම දෙමාපියන් ඊයේ (13) උදෑසන විද්‍යාල ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූහ.

දළුකාන මලියදේව ප්‍රාථමික විද්‍යාලයේ එක වසරේ සිට පහ වසර දක්වා පන්ති පැවැත්වෙන අතර එහි සිසුන් හැටනව දෙනෙකු අධ්‍යාපනය ලැබුවද ඒ සඳහා දැනට සේවය කරනු ලබන්නේ ගුරුවරුන් දෙදෙනෙකු පමණක් බවත්, විදුහල්පතිවරයකු සහ ගුරුවරු හතර දෙනකුගේ පුරප්පාඩුවක් පවතින නිසා බැවින් විද්‍යාලයට ගුරුවරු ලබාදෙන ලෙසත්, අබලං තත්ත්වයේ පවතින විද්‍යාලය පිළිසකර කරදෙන ලෙසත් ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.

වසර සියයකට ආසන්නව කාලයක් පැරණි මලියදේව ප්‍රාථමික විද්‍යාලය වසා දැමීමෙන් ආදිවාසි දරුවන්ට මහත් අසාධාරණයක් සිදුවන බවද විරෝධතාකරුවෝ සඳහන් කළහ.

මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සිසුන් විසිදෙනෙකු සිටින බවත්, එම පන්තියට ගුරුවරයකු නොමැති අතර සිටින ගුරුවරු දෙදෙනාට එක වසරේ සිට පහ වසර දක්වා පන්ති ආවරණය කිරීමට නොහැකි අපහසුතාවක් පවතින බවත් විරෝධතාකරුවන් මෙහිදී පෙන්වා දුන්හ.

මලියදේව ප්‍රාථමික විද්‍යාලයෙන් පසුගිය කාලය පුරා ශිෂ්‍යත්ව විභාගවලින් ඉහළම ලකුණු ලබාගත් සිසුන් සිටින බවත්, මෙම ගම්මානයේ ආදිවාසීන් ධීවර කටයුතු, මී කැඩීම්, කටු අල හාරමින්, හා කුලී වැඩ කරමින් ජීවත්වන නිසා මෙම පාසල වැසී ගියොත් වෙනත් පාසලට තම දරුවන් යොමු කිරීමට නොහැකි ආර්ථික දුෂ්කරතා මතුවන බවත් විරෝධතාකරුවෝ සඳහන් කළහ.