ලබන වසරේ සිට පාසල්වල අවුරුද්දටම එක විභාගයයි

ලබන වසරේ සිට පාසල්වල අවුරුද්දටම එක විභාගයයි

ලබන වර්ෂයේ සිට පළමු වසරෙන් ආරම්භ වී සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩු කර වසරකට එක විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ, ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැලඳවීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

දරුවන්ගේ පෝෂණය සඳහා මවුපියන්ට මුදල් යෙදවීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අමතර පන්ති සඳහා අනවශ්‍ය පරිදි වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම නිසා යැයි කී ඇමැතිවරයා මේ තත්ත්වය වෙනස් කිරීමට මෙසේ වසරකට එක් විභාගයක් පවත්වන බවත් කීවේය.

එසේ වුවත් සෑම පාඩමක් හෙවත් මොඩ්‍යුලරයක් අවසානයේම තක්සේරුකරණයක් හරහා ලකුණු පරිඝණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බවත් මුල දී මෙය විභාග ලකුණු 70%ක් හා මොඩ්‍යුලර් ලකුණු 30%ක් වශයෙන් සැලකෙන නමුදු ක්‍රමයෙන් එය 50%ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් හෙතෙම පැවසුවේය.

මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේදී පාසල් පැමිණීම, රැඳී සිටීම හා එදිනෙදා පන්තියේ වැඩ කිරීම අනිවාර්ය වන නිසා අමතර පන්ති යෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එමඟින් දෙමාපියන්ට අනවශ්‍ය තරගයකට හසුව අමතර පන්ති සඳහා දහස් ගණන් මුදල් වියදම් නොකර දරුවන්ගේ ආහාර පාන අවශ්‍යතා සඳහා එම මුදල් වැය කළ හැකි බවත් නිදහස් අධ්‍යාපනයේ මූලික අරමුණු මල්ඵල ගැන්වෙන්නේ එවැනි ක්‍රියාදාමයක් මඟින් බවත් ඒ මහතා කියා සිටියේය.

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බවත් උසුලාගෙන යෑම පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම එමඟින් අපේක්ෂිත බවත් ප්‍රේමජයන්ත මහතා කීවේය.

සිසුන්ගේ කශේරුකාව ඍජුව තබාගෙන ශරීර සුවතාව ආරක්ෂා කරගැනීමට ද මෙම පාසල් බෑගයේ බර අඩු වීම බලපාන බව ද අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.