පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම් දීමක්

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම් දීමක්

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ආරම්භ වී පෙබරවාරි 02 දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලට මුහුණ දෙන දරුවන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා රැසක් ආරම්භ කරන බවද හෙතෙම කියා සිටියේය.

ජාතික අධ්‍යාපන ආයතනය, වෘත්තිය පුහුණු අධිකාරිය සහ විවෘත විශ්ව විද්‍යාලය යන ආයතන සියල්ල එක්ව මෙම පාඨමාලා ආරම්භ කරනු ලබයි.

ඒ අනුව, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින 237,000ක් දරුවන්ට එහි පළමු පාඨමාලාව ආරම්භ කරන බවත් එළඹෙන දෙසැම්බර් 15 න් පසු එම පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විභාගය අවසන් වෙද්දිම මේ සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරන අතර ඉංග්‍රිසි භාෂාව සහ තොරතුරු තාක්ෂණයට අමතරව තමන් කැමති තාක්ෂණික විෂයයන් දෙකක් තෝරා ගැනීමට හැකියාව පවතී.

දරුවන්ට උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන තුරු මාස 04ක් මෙම පාඨමාලාව හදාරන්න හැකියාව ලැබෙන අතර විශ්ව විද්‍යාලවලට දරුවන් තෝරා පත් කර ගත් පසු ඉතිරි දරුවන් විභාගයක් පවත්වා සුදුසු පාඨමාලාවන් සඳහා තෝරා ගනු ලබන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Share This