දෙවුන්දරදී අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත් 6 දෙනා රඳවා ප්‍රශ්න කිරීමට අවසර

දෙවුන්දරදී අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත් 6 දෙනා රඳවා ප්‍රශ්න කිරීමට අවසර

දෙවුන්දර ගැඹුරු මුහුදේදී අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ලබන 14 දක්වා රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඊයේ (08) අවසර දුන්නේය.

නාවික හමුදාවට ලද තොරතුරක් මත ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම පිරිස මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදු කෙරිණි.

ධීවරයන් භාවිත කරන සැටලයිට් යන්ත්‍රයට වඩා අධි තාක්ෂණයෙන් යුත් සැටලයිට් යන්ත්‍රයක් ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බවත් ඔවුන් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියේද යන්න පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවත් පොලිසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ දන්වා සිටියේය.

ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් සිම් කාඩ් තුනක් ඇතුළු නඩු භාණ්ඩ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා දැනුවත් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒවා සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාමක බවත් සඳහන් කළේය.