“මිදිගම රුවන්” දිවයිනට රැගෙන එයි

“මිදිගම රුවන්” දිවයිනට රැගෙන එයි

පාතාල ක්‍රියාකරුවකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ මස්සිනා වන 30 හැවිරිදි “මිදිගම රුවන්” නමැත්තා අද (31) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

ඩුබායි රටේදී එරට පොලිසිය විසින් මීට මාස දෙකකට පෙරදී අත්අඩංගුවට ගැනුණු මිදිගම රුවන් නමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් එරටට ගොස් තිබිණි.

රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් මිදිගම රුවන් නැමැත්තා මීට මාස දෙකකට පමණ පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආ මිදිගම රුවන් නමැත්තා වැඩිදුර විමර්ශන සඳහා විශේෂ රැකවල් යටතේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් තිබේ.

හරක් කටා නැමැත්තා මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන අතර ඔහු රහස් පොලිසියේ රඳවා සිටියදී රහස් පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීමට සැලසුමක් දියත් කර තිබුණේද මිදිගම රුවන් විසින් බවටයි අනාවරණය වී තිබුණේ.