රුසියානු යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යැවීමේ ජාවාරමට විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසන්න රණවක අත්අඩංගුවට!

රුසියානු යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යැවීමේ ජාවාරමට විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසන්න රණවක අත්අඩංගුවට!

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ සංවිධානාත්මක ජාවාරම මෙහෙයවීමේ ප්‍රධානියකු ලෙස හඳුනාගත් විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු සහ සාජන් මේජර්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) රාත්‍රියේ කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රසන්න රණවක නමැති මෙම මේජර් ජනරාල්වරයා 2022 වසරේදී හමුදාවෙන් විශ්‍රාම ගිය හමුදා සේනාංකාධිපතිවරයකු බවත් සාජන් මේජර්වරයා සරත් විජේසිංහ නමැති අයකු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෙළෙඳාම් ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිපලයක් ලෙස දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මොවුන් කුරුණෑගල පදිංචිකරුවන් වන අතර, මේජර් ජනරාල්වරයා කුරුණෑගල වැව පාර හි පදිංචිව සිටී.

ඔවුන් මේ වනවිට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 500කට වැඩි පිරිසක් පසුගිය කාලය පුරා රුසියාවට යවා ඇති බව හෙළිව ඇත.

ඔවුන් අතරින් හය දෙනකු මේ වනවිට මියගොස් ඇති බවත් 25කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් අනාවරණය වී ඇත.

මෑතකදී 150ක පමණ පිරිසක් රුසියාවට යවා ඇති අතර, ඔවුන් පුහුණු කඳවුරක රඳවා ගෙන සිටින බවද එරටින් ලැබෙන තොරතුරු අනාවරණය කළේය.

මෙම සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.