රුසියානු හමුදා ප‍්‍රහාරයකින් ශ‍්‍රි ලංකා හමුදාවේ තුනක් මරුට

රුසියානු හමුදා ප‍්‍රහාරයකින් ශ‍්‍රි ලංකා හමුදාවේ තුනක් මරුට

රුසියානු හමුදා ප්‍රහාරයකින්, යුක්‍රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන කපිතාන් රනිෂ් හේවගේ මහතා ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුසියානු හමුදා විසින් පෙරේදා (04) යුක්රේන ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල කරන ලද ප්‍රහාරයක දී ඔවුන් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

කපිතාන් රනිෂ් හේවගේ මහතා, ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා කමාන්ඩෝ බළකායේ පුහුණුව ලබා නීත්‍යානුකූල ලෙස ඉවත්ව යුක්‍රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස 2022 වසරේ මාර්තු මාසයේදී සේවයට බැඳී තිබේ.

රුසියානු – යුක්‍රේන යුද්ධයේ දී ඒ මහතා පෙරමුණේ දැක්වූ වීරත්වය හේතුවෙන් එරට ජනාධිපති විසින් ජනාධිපති විශේෂ සම්මාන පහක් ඔහුට ප්‍රදානය කර ඇත.

රුසියානු රජයේ හමුදාවන් විසින් “කළු හතුරා” ලෙස හඳුන්වන රුසියානුවන්ගේ ද ඉලක්කයක් ලෙස කපිතාන් රනිෂ් හේවගේ මහතා නම්කර තිබී ඇත.

සටන් පෙරමුණේ නව වතාවක් තුවාල ලබමින් යුක්‍රේන රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළ රනිෂ් හේවගේ මහතා එරට හමුදාවෙන් “කපිතාන් ඩෙන්ටිස්ට්” යන නාමයෙන් හඳුන්වා තිබේ.

යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල්ලට ඔබ්බෙන් වූ මෙහෙයුමකට එක් වූ රනිෂ් හේවගේ මහතා යටතේ සිටින භට කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකික භටයෙකු වූ ප්‍රියන්ත සටන් පෙරමුණේ දී පසුගිය 04 වෙනිදා පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

සටන් පෙරමුණට රුසියානු ප්‍රහාර දිගින් දිගටම එල්ලවීම හේතුවෙන් මියගිය සෙබළාගේ සිරුර රැගෙන යෑමට යුක්‍රේන හමුදා භට පිරිස් ඉදිරිපත් වී නොමැත.

එවිට ශ්‍රී ලාංකික සෙබළාගේ සිරුර රැගෙන යෑමට කපිතාන් රනිෂ් හේවගේ මහතා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී ඇති අතර, ඔහුගේ සහායට තවත් ශ්‍රී ලාංකික භටයන් තිදෙනෙකු එක්ව තිබේ.

“අපි ෆෝ මෑන් ටීම් එකක් විදියට රනිෂ් සර් සමග බොඩි එක ගන්න ගියා. මඟදිම එක්කෙනෙක් තුවාල වුණ නිසා අපි තුන්දෙනයි ඉස්සරහට ගියේ. අපි ඉස්සරහින් ලයින් එකට යද්දිම කාලතුවක්කුවලින් ගහන්න ගත්තා. ඩ්‍රෝන් ඇටෑක් එකකුත් ආවා. 4 වෙනිදා උදේ 9ට විතර කාලතුවක්කු එකක් වැටිලා සර් එක්ක මාත් තුවාල වුණා. අපිත් එක්ක ගිය සිංහ රෙජිමෙන්ට් එකේ එක්කෙනා එකේදි මැරුණා. සර්ට තුවාල වෙලා තිබුණේ. මම සර්ව කිලෝමීටර් පහළොවක් විතර අරන් ආවා. මගේ අතට කාලතුවක්කු කෑලි වැදිලා තුවාල වෙලා තිබුණේ. රනිෂ් සර් වගේ වීරයෙක් සතුරු බිමේ මැරෙන්න දෙන්න බැරි නිසා මම කොහොම හරි එයාව අරගෙන ආවා. අතරමඟ දි ආයෙත් රුසියානු ඩ්‍රෝනවලින් ගහන්න ගත්තා. ඒ අතරේ රනිෂ් සර් නැතිවුණා. සර් අපිට හැමදාම කිව්වේ යුද්දේදි මැරුණොත් බොඩි එක ගන්න එපා කියලයි. ඒත් මම උපරිම උත්සාහ කළේ, සර්ව අරගෙන එන්නයි. දිගටම ඩ්‍රෝනවලින් ගහද්දි මට තනිවම පසුබහින්න වුණා” යැයි මෙම මෙහෙයුමෙන් තුවාල ලබා යුක්‍රේන හමුදා රෝහලක ප්‍රතිකාර ලබන යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් ඉවත්ව ගොස් යුක්‍රේන හමුදාවට එක්වූ හතුරුසිංහ මහතා පැවසීය.

Share This