බන්දුල ගුවන්විදුලිය සහ රූපවාහිනිය එකතු කර පොදු සමාගමක් හදන්න යයි

බන්දුල ගුවන්විදුලිය සහ රූපවාහිනිය එකතු කර පොදු සමාගමක් හදන්න යයි

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බව ඇමතිවරයා සභාපතිත්වය දරණ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී නැවතත් තහවුරු වීමෙන් අනතුරුවය.

2015 සිට සංඛ්‍යා ලේඛන ඉදිරිපත්කරමින් මෙම නාලිකා දිවිත්වය අලාභ ලබා ඇති ආකාරය සභාපතිවර බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277ක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වන විට රුපියල් මිලියන 457ක් අලාභ ලබා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීමට අපහසු බව පෙන්වා දුන් සභාපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කිරීමට සැළසුම්කර ඇති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවද සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍ය මගින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් ලබා නොදෙන බව කාරක සභාව තුළ අදහස් පලවිය. සංවර්ධනයට ලක්විය යුතු ගොඩනැගිලි, මාර්ග, පාලම් ආදී විවිධ දෑ හේතුවෙන් පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍ය මගින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු මහජනතාවට ලැබී ඇති පහසුකම් පිළිබඳවද රාජ්‍ය මාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කළයුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී සමාජ සංස්කෘතියට, පුද්ගල සෞඛ්‍යට හානිවන අයුරින් මාධ්‍ය මගින් සිදු කරන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමර්ග පිළිබඳ වාර්තාවක් සකසා කාරක සභවට ලබා දෙන ලෙස සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට උපදෙස් ලබාදෙන ලදී.

Share This