වැස්ස වැඩිවෙයි

වැස්ස වැඩිවෙයි

දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලබිළි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වර්ධනය වීම අපේක්ෂා කරන බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව සඳහන්.

ඒ අනුව, උතුර, නැගෙනහිර, දකුණු, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි අතර දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

නැගෙනහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙන්නේ.