නාරම්මල පොලිස් වෙඩි පහරින් මියගිය රොෂන්ගේ බිරිය රු.මි 200ක වන්දි ඉල්ලා අධිකරණයට

නාරම්මල පොලිස් වෙඩි පහරින් මියගිය රොෂන්ගේ බිරිය රු.මි 200ක වන්දි ඉල්ලා අධිකරණයට

ඉකුත්දා නාරම්මල පොලිසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වූ රොෂාන් කුමාරසිරි වෙඩි තබා මරා දැමීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන කමනි රූපිකා ප්‍රියංගනී විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන, පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන් තිදරු මවක් බවයි.

ඉකුත් ජනවාරි මස තම සැමියා ලොරියකින් ගමන් කරමින් සිටියදී “යුක්තිය” මෙහෙයුමේ නිරතව සිටි නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු මරණයට පත් වූ බවයි ඇය කියා සිටින්නේ.

මීට අදාළව සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තම සැමියා වෙඩි පහරකින් මියගිය බව අනාවරණය වූ බවත් එහි සඳහන් වේ.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් එල්ලකල වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාරිය වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Share This