දෘශ්‍යබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක්

දෘශ්‍යබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක්

ඉදිරි සියලු මැතිවරණවලදී දෘශ්‍යබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට තීරණය කර තිබේ.

සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම එවැනි පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් නිකුත් කෙරෙන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා පැවසුවේ ය.

මීට පෙර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 10 ක නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩසටහන සාර්ථක වූ බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමන් රත්නායක මහතා පවසා තිබේ..

මීට අමතරව, ඡන්ද මධ්‍යස්ථානවල ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා සහ ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රවේශය සදහා විශේෂ අවධානය යොමු කරන බවද, ඔහු පැවසුවේ ය.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක සඳහන් කළේ, ආබාධිත ප්‍රජාවට හැඳුනුම්පතක් ලබා දීමටත් පියවර ගන්නා බවයි.

මේ අතර, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ඩලස් අලහප්පෙරුම පැවසුවේ, මෙවර අයවැයෙන් බස් රථ 600ක් මිලදී ගැනීම සදහා යෝජනාවක් පවතින බැවින් ඉන් බස්රථ කිහිපයක් හෝ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් මිලදී ගෙන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

Share This