මීගොඩ ගෘහ භාණ්ඩ අලෙවි සැලක ලක්ෂ 60ක කොල්ලයක්

මීගොඩ ගෘහ භාණ්ඩ අලෙවි සැලක ලක්ෂ 60ක කොල්ලයක්

මීගොඩ 20 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගෘහ භාණ්ඩ තොග වෙළද සලකට අද (25) සවස මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ යතුරු පැදි හිස් වැසුම් පැළද ගිනි අවි දෙකක් අතැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සේප්පුවේ තිබූ රැපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

කොල්ලකරැවන් දෙදෙනා ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් රැගෙන ආයතනයට ඇතුළු වී එහි පිළිගැනීමේ නිළධාරිණියන් දෙදෙනාගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කරගෙන ගොස් ගිනි අවි හිසට තබා බියකර සේප්පුවෙහි රහස් අංකය විමසා එය විවෘත කර එහි තිබූ මුදල් රැගෙන පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි.

එම කොල්ලකරැවන් දෙදෙනා පලා යන අවස්ථාවේදී එහි පිරිසිදු කිරීමේ සේවකයෙකුගේ මුහුණට හමු වී ඇති බවත් ගිනි අවි පෙන්නා තර්ජනය කිරීම නිසාවෙන් බියට පත් සේවකයා දිව ගොස් ඇතැයි ද සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

එම ආයතනය තුල සවිකර තිබෙන ආරක්ෂිත කැමරා සහ අවට කැමරා දර්ශන ඔස්සේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව මීගොඩ පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය.