රොෂාන් රණසිංහට එරෙහිව පෙත්සමක්

රොෂාන් රණසිංහට එරෙහිව පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

නීතිඥ දිමිත්‍රී ෂීරාෂ් පෙට්රාජලි මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහි ව සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

පෙත්සමේ මෙසේද සඳහන් වේ..

2023 නොවැම්බර් 8 වැනිදා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවේචනය කරමින් කතාවක් පවත්වා ඇත.මෙම කතාවේ අඩංගු කරුණු වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ.

එපමණක් නොව හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද චෝදනා වලින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ චරිතයට සහ ඔහුගේ තනතුරුවලට බරපතළ හානියක් අගතියක් සිදුවී ඇති බවද පෙත්සමෙහි සඳහන් වේ.

එබැවින් වගඋත්තරකාර අමාත්‍යවරයාට අධිකරණ අපහාසයට දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට සඳහන් කරමින් නොතීසි නිකුත් කරන ලෙස ද අධිකරණ අපහාසය සම්බන්ධයෙන් දඬුවම් නියම කරන ලෙසද නීතිඥවරිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

Share This