සෞදියේදී අනතුරකින් එක්තැන් වූ රසින්ත දිවයිනට

සෞදියේදී අනතුරකින් එක්තැන් වූ රසින්ත දිවයිනට

සෞදි අරාබියේ සේවයට ගොස් උස් ගොඩනැගිල්ලකින් ඇද වැටී ඉණෙන් පහළ ප්‍රදේශය අප්‍රාණික වූ රසින්ත ලියනගේ මහතා අද (16) දිවයිනට ගෙන්වාගෙන තිබෙනවා.

ඔහු අද අලුයම 06.00 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.-266 දර‍ණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි, ගුවන් තොටුපළ තොරතුරු සඳහන් කළේ.

38 හැවිරිදි රසින්ත ලියනගේ මහතා නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයේ පදිංචි කාර්මික වෘත්තියේ නියැලි දෙදරු පියෙක්.

ඔහු ඉකුත් 2023 වසරේ මාර්තු මස 12 වනදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සෞදි අරාබියේ කාර්මික රැකියාවක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

එම වසරේ සැප්තැම්බර් 28 වනදා ඔහු සේවය කළ ආයතනය පිහිටි මහල් ගොඩනැගිල්ල මත වතුර ටැංකියක් තැබීමට යාමේදී, එයින් ඇද වැටී අනතුරට ලක්ව තිබෙනවා. තමන්ට මුහුණ දීමට සිදු වූ අත්දැකීම ගැන රසින්ත ලියනගේ මහතා විස්තර කළේ මෙලෙසින්.

“මාව වැටුණට පස්සෙ දමාම් නුවර රෝහලකට ගෙනෙහින් දැම්මා. ඊට පස්සෙ මං වෙනුවෙන් මම සේවය කළ සමාගමේ මුදල් අවසන් වූ පසු මගේ ටිකට් කැපුවා . මාව එම ආයතනයේ ගරාජ් එකකට ගෙනැවිත් දැම්මා.

මගේ ඉණේ පහළ කොටස පණ නැහැ. ඒ ගරාජ් එකේදි මට එතනම මළපහ පිට වුණා. ඊටපස්සෙ මගේ පස්ස පැත්ත කුණු වුණා. මාව බලා ගන්න, මට බෙහෙත් ටිකක් දෙන්න කවුරුත් හිටියෙ නැහැ.

පස්සෙ මාව එහෙදි බලාගත්තෙ ලංකාවෙන් සෞදි අරාබියට වැඩට ගිහිල්ලා හිටිය අයියලා, අක්කලා පිරිසක්. පස්සෙ ඔවුන් මං ගැන සමාජ මාධ්‍යයට සහ ශ්‍රී ලංකාවෙ ජනමාධ්‍ය ආයතනවලට කිව්වා. ඒ නිසා අද මේ විදිහට ශ්‍රී ලංකාවට එන්න ලැබුණා. එහෙම නොවෙන්න මට එන්න වෙන්නෙ පෙට්ටියෙන්.

මම අවසාන වශයෙන් කියන්නෙ විදේශ රැකියාවකට යනවා නම් නීත්‍යානුකූලව, වගකීමෙන් යන්න . මම එහෙම ගිහිල්ලත් මං වෙනුවෙන් කටයුතු කරන්න සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යයාලය අපොහොසත් වුණා.”

අද අලුයම දිවයිනට පැමිණි රසින්ත ලියනගේ මහතා පිලිගැනීමට ඔහුගේ බිරිඳ බිසෝ මල්ලිකා සහ ඔවුන්ගේ බාල දියණිය ඇතුළු තවත් සමීපතම ඥාතීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

ඔහුව විශේෂ ගිලන් රථයකින් මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබූ අතර, ඔහු සේවය කළ සමාගමෙන් වන්දි මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් ද බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

Monara

Monara

Monara

Share This