ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පසුගිය කාලවකවානුවේදී රට පත්ව තිබු අර්බුදයෙන් ගොඩගැනීමට වර්තමානයේ පාර්ලිමේන්තුවේ හඩ නගන කිසිදු පුද්ගලයෙකු ඉදිරිපත් නොවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ තීරණාත්මක අවධියේ තමා එම අභියෝගය භාරගත් බවයි.

එම අභියෝගාත්මක කාලවකවානුව තුළ නායකත්වය භාරගැනීම පිළිබද තමා ආඩම්බර වන බවත්, තමාට තිබුණේ අධිෂ්ඨාන සහ සැලසුම් පමණක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

‘සියළු දෙනා වින්ද දුක් කරදරවලින් මුදවා ගැනීමේ මම සාඩම්බර කොටස්කරුවෙක්.

ඒ සදහා සහය ලබාදුන් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්වත් මම සිහිපත් කරනවා.

ඒ සියලු දෙනාගේ කාර්යය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙයි.

ඇතැම් දුෂ්කර තීරණ ජනතාව දරාගත්තා.

ජනතාවට අවම බරක් පටවමින් මෙම ජයග්‍රහණය ලබාගැනීමට හැකිවීම විශේෂත්වයක්.

රටේ ජනතාවගේ සහයෝගය නිසා මට ලංකා මාතාව වැල් පාලමෙන් එගොඩ කිරීමට හැකියාව ලැබුණා”

ලොව බංකොලොත්භාවයට පත්වු සෙසු රටවල් හා සාපේක්ෂව ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

තමා රට භාරගත් කාලවකවානුවේදී මෙරට උද්ධමනය සියයට 70 ඉක්මවා තිබු බවත් එය මේ වනවිට පහළගොස් ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජාත‍්‍යන්තරයෙන් ණය ලබාගත යුත්තේ එදිනෙදා වැඩ කටයුතු සිදුකරගෙන යාමට නොව ආයෝජනය සදහා බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

“මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා. මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්. කිසිදු නායකයෙක් මේ බංකොළොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මේ අභියෝගය භාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ කිසිවෙක්ට ඉස්සරහට එන්න ධෛර්යක් තිබුණේ නෑ.. මම ඒ අභියෝගය භාරගත්තා…”