විදුහල්පති පුරප්පාඩු පුරවන්න නියෝග

විදුහල්පති පුරප්පාඩු පුරවන්න නියෝග

පාර්ශ්වකරුවන් විසින් ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ තනතුරු සඳහා වන පත්කිරීම් සිදුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කළේය.

ඒ අනුව, අදාළ තනතුරු 4,718ක් සඳහා වන පත්කිරීම් සිදුකිරීමට අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති විය.

අදාළ පත්කිරීම් සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණි.

මේ අතර, ගුරුවරුන් බඳවා ගැනිමේ චක්‍රලේඛය අත්හිටුවන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබු අතර එය ද අද ඉවත් කෙරිණ.

අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනුණි.